ඔමික්‍රෝන් නිසා ජපානයෙන් පැනවූ තහනම

November 29, 2021 at 12:35 PM

නව කොවිඩ් ප්‍රභේදයේ හඳුනා ගැනිමත් සමඟ ජපානය විසින් විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයින්ට ජපානයට ඇතුල්වීමට අවසර නොදෙන බවයි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සඳහන් කර සිටින්නේ.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමග ජපානයේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බවයි ජපාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යමින් සිය දෛනික කටයුතු ආරක්ෂාකරිව සිදුකර ගන්නා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන ඉල්ලා සිටියි.

ඔමික්‍රෝන් වෛරසය අනෙකුත් කොවිඩ් ප්‍රභේද වලට වඩා භයානකද යන්න පැහැදිලි නැතැයි විද්‍යාඥයන් අනතුරු අඟවන විටත් බොහෝ රටවල් තම දේශසීමා දැඩි කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර ඊශ්‍රායලය, මොරොක්කෝව වැනි රටවල් විසින් මේ වන විටත් විදේශ සංචාරකයින්ට තහනම් පැනවීමට පියවර ගෙන තිබීම ඊට හොඳම උදාහරණයයි.