කොවිඩ් පෙත්ත ගෙන්වන්න ජනපතිගෙන් උපදෙස්

November 26, 2021 at 3:02 PM

කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) ලබාදීම පිළිබඳව අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා. කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙසයි එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්මවූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

අද (26) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්මවූ සියලුදෙනාට ද එම සායන තුළදී අධි මාත්‍රා එන්නත ලබාදීමට තීරණය කෙරුණා.

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය විය. ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

කොවිඩ් අවධානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාව කළ අතර ග්‍රාමීයව පැතිර යන කොවිඩ් අවධානම පාලනය සහ ජනතාව දැනුවත් කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදව ද සාකච්ඡාවට ලක් විය.