කොවිඩ් කරලට මෙරට අනුමැතිය

November 15, 2021 at 5:12 PM

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. කොවිඩ් -19 පිළිබඳ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියා.

කොවිඩ් මර්දනය සඳහා Merck සමාගම හඳුන්වාදී ඇති මොල්නුපිරවියා (Molnupiravir) නැමති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියා.

මෙම ඖෂධ කරල මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතීන අතර එහි නිවැරදි මාත්‍රාව ලබාදුන් විට කොවිඩ් වැලඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ව රෝහල්ගත කිරීම සහ මරණ අඩකින් පමණ අඩුකර ගත හැකි බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

එහිදී සිදුවන්නේ මෙම ඖෂධය මිනිස් සෛල තුළදී කොරෝනා වෛරසය අනුකරණය කරමින් කොරෝනා වෛරසය විනාශ කිරීම වන අතර වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම ඖෂධ කරල සාර්ථක වුවහොත් කොරෝනාවට එරෙහි සටන සාර්ථක කරගත හැකි බවයි.