ගිණිකොණ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරු තුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් පවතින බවත් එය වයඹ දෙසට ගමන් කර අද දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාක්ෂේව අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් උතුරු මැදි පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
මේ අතර දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 60,264 කට අයත් 2,12,060 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙම ආපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 25 ක් වාර්තා වී ඇති අතර අවතැන් වූ පවුල් 13,671 කට අයත් 50,166 දෙනෙක් ආරක්ෂිත ස්ථානවල සහ ඥාති නිවෙස්වල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.
බදුල්ල, නුවරඑළිය, මාතලේ, ගම්පහ, මුලතිව්, කොළඹ, වව්නියාව, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල, කෑගල්ල, කිලිනොච්චිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂවරයා සඳහන් කළේ.
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 38,298 කට අයත් 1,32,375 දෙනෙක් පීඩාවට පත්ව සිටියි.
එම දිස්ත්‍රික්කවල නිවාස 23 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,229 කට අර්ධ හානි සිදුව ඇත.
