කුසල්-නිරෝෂන් සහ ධනුෂ්ක වෙනුවෙන් කිරිඇල්ල කළ ඉල්ලීමට ඇමති නාමල් පිළිතුරු දෙයි (VIDEO)

November 8, 2021 at 2:52 PM

දැනට තරග තහනමක් පනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනා නැවත ජාතික කණ්ඩායමට කැඳවීම පිළිබඳව සලකා බලන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් අද ඉල්ලීමක් කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට අත්දැකීම් මද භාවය පෙන්නුම් කළ බැවින්, 2022 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් තරග තහනමක් පනවා ඇති ක්‍රීඩකයින් කැඳවීමට පියවර ගන්නා ලෙසයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ විනය සම්බන්ධයෙන් වන කාරණාව මුලික කරගෙන මෙම තහනම පනවා ඇති බවයි.

මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රාජපක්ෂ කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු පළමු කාරණය විනය අංශය බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මේ වසර මුලදී එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී නිරෝධායන සීමාවන් උල්ලංඝනය කළ බවට අනාවරණය වීම හේතුවෙන් ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමකට ලක් විය.

“විනය ක්‍රියාමාර්ගය හරියට අනුගමනය නොකිරීම නිසා ඔබේම දේශපාලන පක්ෂයට සිදු වූ දේ ඔබට තේරෙනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට එහෙම වෙන්න දෙන්න බෑ. අපි විනය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය විසින් කමිටුවක් පත් කර ඇති අතර එය මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තියෙනවා. දේශීය තරග තහනම අවසන් වූ පසු ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගි විය හැකිය. ඔවුන්ට වසරකින් පසුව ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් විය හැකියි” අමාත්‍ය නාමල් රාජපක්ෂ පැහැදිලි කර සිටියා.