නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

November 7, 2021 at 11:34 PM

මේ වනවිට ජනතාව හැසිරෙමින් සිටින්නේ කොවිඩ් නොතිබූ රටක මෙන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවයි මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

“බටහිර ලෝකෙ ගත්තට පස්සේ ඔවුන් අපේක්ෂිතව සිටිනවා දෙසැම්බර් මාසේ වන විට හතරවැනි රැල්ලක් භයානක විදියට එයි කියලා. පහුගිය සතියක කාලයේ රෝගීන් නැවතත් ක්‍රමානුකූලව වැඩි වෙන ප්‍රවණතාවයක් දැක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ජනතාව කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍යයි. ” අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් ආසාදිතයින් ගණන 626 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව ගතවූ දින 03 තුලදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 600 සීමාව ඉක්මවා වාර්තා වුවා.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 545,256ක්.

මේ අතර ගතවූ 06 වෙනිදා මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,856ක්.