ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 627ක් : ගැබිණි මව්වරුන් සහ දරුවන් අතර වෛරස ව්‍යාප්තිය වැඩි වෙයි

November 6, 2021 at 8:21 AM

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් ගණන 627 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 544,012ක්.

මේ අතර පසුගිය 04 වෙනිදා සිදුවූ තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර සිටියා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,821කි.

කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ සංඛ්‍යාවේද යම් වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කර සිටියා.

මේ අතර පාසල් දරුවන් අතරත් කොවිඩ් පැතිරීමේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි ඇය සඳහන් කර සිටියා.

සංචරණ සීමා ඉවත් වීම සමග ජනතාව නිදහසේ කටයුතු කිරීම නිසා මේ තත්වය උදා වන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය විශේෂයෙන් කුඩා දරුවන් රැගෙන විනෝද ගමන්වල යෙදීම කිසියම් කාලයකට සීමා කළ යුතු බවයි සඳහන් කර සිටියේ.