කොවිඩ් රෝගීන් වෙනුවෙන් පළමු වරට ඖෂධයක් සඳහා අනුමැතිය හිමිවෙයි

November 4, 2021 at 5:50 PM

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිකාර සඳහා පළමු වරට ප්‍රතිවෛරස් ඖෂධයක් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් විසින් අද අනුමත කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

molnupiravir යනුවෙන් හඳුන්වනු ලබන මෙම ප්‍රතිජීවක ඖෂධය කොවිඩ් රෝගීන් ගේ ප්‍රතිකාර සඳහා අනුමත කරන ලද පළමු පෙත්ත බවයි සැලකෙන්නේ.

උණට රෝගය වැළදුණු රෝගීන් සඳහා ලබාදීමට සකස් කරන ලද මෙම ප්‍රතිවෛරස් පෙත්ත, කොවිඩ් ආසාදනය වූ රෝගීන් රෝහල්ගත වීමේ සහ මරණ අවදානම අඩු කිරීමට “ආරක්ෂිත සහඑලදායි” ප්‍රථිපල පෙන්වූ බවයි එරට සෞඛ්‍ය නියාමන ආයතනය ප්‍රකාශ කළේ.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය නියාමන ආයතනය වන ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන නියෝජිතායතනයේ ප්‍රකාශයට අනුව එහි “ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව” පිළිබඳ “දැඩි සමාලෝචනයකින්” පසුව මෙම තීරණය ගෙන ඇත.

සායනික පරීක්ෂණ දත්ත යෝජනා කර ඇත්තේ ආසාදනයේ මුල් අවධියේදී මෙම ඖෂධය රෝගීන්ට ලබාදීම වඩාත් ඵලදායී බවයි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ අද දිනය තම රටට “ඓතිහාසික දිනයක්” ලෙසයි.