දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක්

November 3, 2021 at 3:33 PM

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට බලාපොරොත්තු නොවු ලෙස කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන අහඹු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඉදිරි සති අන්තයේදී අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමෙන් වලකින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

“ඉදිරි දින කිහිපය තුළත් දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා. බොහෝදෙනෙක් සමහරවිට සිකුරාදා නිවාඩු දමලා විවිධ ගමන්බිමන් යෑමට මේ වන විටත් සැලසුම් කරලා ඇති. පළමුවෙන් ම මම කියන්නේ මෙවැනි අවස්ථාවක අපි දන්නා දෙයක් තමා වැඩිදෙනෙක් මෙවැනි ගමන් සඳහා පෙළඹෙන අවස්ථාවක අපිත් ඒකට සම්මාදම් වුණොත් තවත් එක්කෙනෙක් ගෙන් හරි ඒකට එකතුවීමක් පමණයි සිද්ධවෙන්නේ. ඒ නිසා මෙම අවස්ථාවේ එවැනි ගමන්බිමන්වලින් වැළකී සිටීමට පුළුවන් හැමදෙනෙක් ම එයින් වැළකී සිටිම වැදගත් වෙනවා. ඒ වගේම තමා යම් ආකාරයකට අත්‍යාවශ්‍ය හේතුවක් මත ගමන් බිමන් යෙදෙනවා නම් පුද්ගලයින් එක්වන ස්ථාන වෙතට යනවා නම් එම ස්ථානවල ජනතාව පිරි සිටිනවා නම් එම ස්ථානවලට යෑමෙන් වැළකී වෙනත් නිස්කලංක තැනක තමන්ගේ නිවාඩුව ගත කරලා කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් වෙනවා. මේ මොහොතේ අනවශ්‍ය සංචරණයෙන් වැළකී සිටින්න කියලා සියලුදෙනාගෙන් ම ඉල්ලා සිටිනවා.” ඔහු සඳහන් කර සිටියා.