රට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සුදානම් – ඇමති ගම්මන්පිල

October 30, 2021 at 8:15 AM

ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කර සිටියේ.

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවයි ඇමතිවරයා සඳහන් කළේ.

මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කර සිටියා.