ආර්ථික ප්‍රශ්න නිසා දියණියන් තිදෙනාට වස පොවා මවත් වස පානය කරයි

October 28, 2021 at 8:56 AM

සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා වනවා. එලෙස වස පානය කර ඇත්තේ 31 හැවිරිදි මවක්, 7, 5 සහ සිව් හැවිරිදි දියණියන් තිදෙනෙකි.

තම සැමියා මානසික රෝගයකින් පෙළෙන අතර ජීවත්වීමට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පවසා ඇත.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් සියලුදෙනා බේරාගන්නට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

“වාසනාවකට මේ 4 දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ජීවත්වෙන්න විදිහක් නැතුව මෙවැති තත්ත්වයකට පත්වීම ඉතාම කනගාටුදායකයි. බදුල්ලේ ජනතාව තම අසල්වාසීන් ගැන මීට වඩා විමසිල්ලෙන් පසුවිය යුතුයි. දෙයක් වුණාට පස්සේ කනගාටුවෙලා වැඩක් නෑ. මේ අය දින කිහිපයකින් ආහාරපාන ලබාගෙන තිබුණේ නෑ. තේවලට වස කලවම් කරලා තමයි මව දියණියන් තිදෙනාට දීලා තිබුණේ. වාසනාවකට වැඩි මාත්‍රාවක් ශරීරගතවෙලා තිබුණේ නෑ.” බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කර සිටියා.