පැය 48ක් අඳුරේ ඉන්න සුදානම් වෙන්න : විදුලි වෘත්තීය සමිති රටට දැනුම් දෙයි

October 27, 2021 at 6:50 AM

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළකරමින් විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කරන බව එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කර සිටිනවා.

ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කර සිටියා.

මෙහිදී අදහස් පළකර සිටි ඔහු මෙසේ සඳහන් කර සිටියා, ”ආණ්ඩුව අපිට කියනවා. වැඩවර්ජනයකට පලයල්ලා. අඳුරේ තියපල්ලා. එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..ඒ නිසා අපි ජනතාවට කියනවා. මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා ” යනුවෙනි.

මේ අතර එළඹෙන 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.

අම්මා තාත්තා වරදක් කලත් වැරදි බවයි මෙහිදී ගම්මන්පිල ඇමතිවරයා සඳහන් කර සිටියේ.

මෙම සාකච්ජාවට එක්වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කර සිටියේ ඇමරිකාවත්, චීනයත්, ඉන්දියාවත් ලංකාවට කරන බලපෑම් ඉතා දැඩි ලෙස වැඩි වී ඇති බවයි.

”ප්‍රධානම අර්බුදය තියෙන්නෙ භූ දේශපාලනික වශයෙන් ,ඇමරිකාවත් ඊළඟට චීනයත් ඉන්දියාවත් ලංකාවට කරන බලපෑම් ඉතා දැඩි ලෙස වැඩිවෙලා තියෙනවා. මේ භූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම තමයි ප්‍රධාන කාරණයක් බවට පත්වෙලා තියෙන්නේ” රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.