චින්දාඕ චීන සමාගමට එරෙහිව තවත් වාරණ නියෝගයක්

October 26, 2021 at 6:40 PM

සිමා සහිත ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අද (26) තවත් වාරණ නියෝගයක් ගෙන තිබෙනවා.

චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පැනි (Qingdao Seawin Biotech Group Company) වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිඳු ගෙවීමක් කළ නොහැකි වන ලෙස අදාළ වාරණ නියෝගය නිකුත් කෙරුණා.

චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිඳු ගෙවීමක් ලබාගැනීමට ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය අංක 02 හි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත් කර සිටියා.

පසුගිය සිකුරාදා කොළඹ වාණිජ මහාධිකරණය අංක 03 හි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ද චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ආචාර්ය චාරුක ඒකනායක, රජයේ අධි නීතිඥ ශෙහාන් සොයිසා, නියෝජ්යක සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විශ්නේෂ්වරන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියා.

ගිවිසුම යටතේ, චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුවද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස්වලදී සමාගම පිළිගෙන ඇති බව ද අධිකරණයේ දී දන්වා සිටින ලදී.

ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service)විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබේ. මෙම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්රි‍යාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක (shipment)කොටසකි.