පාප්වහන්සේ ගෙන් කාදිනල් හිමිපාණන්ට ලිපියක්

October 24, 2021 at 2:55 PM

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට ගතයුතු හොඳම ඉදිරි පියවර ගන්නා ලෙස අතිඋතුම් ෆ්‍රැන්සින් ශුද්ධෝත්තම පාප්වහන්සේ මෙරට කාතෝලික සභාවට දැනුම් දී තිබෙනවා.

එහිදී පාප්වහන්සේ පෙන්වා දී ඇත්තේ ඊට තමන් සහාය පළ කරන බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට උන්වහන්සේ විසින්ම ලියන ලද ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇත්තේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක විමර්ශන සහ මෙරට කතෝලික සභාව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ සංවාදයක් ඊයේ (23) සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා තිබුණා.

එම සංවාදය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා ඉතාලිය ඇතුළු යුරෝපා රටවල වැසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්වී ඇත.

එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාප්වහන්සේට යැවූ ලිපියකට උන්වහන්සේ එවන ලද පිළිතුරු ලිපියක් කාදිනල් හිමිපාණන් මාධ්‍යයට ඉදිරිපත් කර සිටියා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“මම ඔබට වැදගත් යමක් පැවසීමට කැමතියි. අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ උන්වහන්සේගේම අත්අකුරින් ලියූ 2021 සැප්තැම්බර් 19 දිනැති මේ ලිපිය මා හට එවා තිබෙනවා. උන්වහන්සේ මේ කරුණු අවධාරණය කර තිබෙනවා. ඉතාලි බසින් ලියා ඇති එය මම ඔබට පරිවර්තනය කරන්නම්.”

උපුටා ගැනීම,

“අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා.

හිතවත් සහෝදරය,

කාදිනල් බංඥාස්කෝ මා අතට පත් කළා පසුගිය අගෝස්තු 24 වනදා ඔබ විසින් එවන ලද ලිපිය. එහි 2019 අප්‍රේල් 21 වන දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින විනිවිදභාවයකින් තොර විමර්ශන පිළිබඳ ඔබ සඳහන් කර තිබුණා. එමෙන්ම පසුගිය දිනක මෙහි සිටින ඔබේ අපෝස්තලික තානාපතිතුමන්ද ලිපියක් මගින් එම කරුණු පිළිබඳවම මා දැනුවත් කර තිබුණා. අතිඋතුම් කාදිනල්තුමනි, මෙම තත්ත්වය මා බොහෝ කනගාටුවට පත් කරනවා. මම පොරොන්දු වෙනවා තව තවත් යාච්ඤා කරන්න.

මෙම හෙට මේ ගැන රාජ්‍ය ලේකම් කාදිනල්තුමන් සමඟ කතාකරනවා. මට මතකයි ප්‍රහාරය එල්ල වූ දිනවල කිතුණුවන් ආවේගශිලි නොවන්නට ඔබ කටයුතු කළ ආකාරය සහ ඉස්ලාම් භක්තිකයන් හමුවී ඔවුන් හට මිත්‍රත්වය පෙන්නුම් කළ අකාරය. මට අමතක නැහැ ඔබ සැබෑ යහපත් එඬේරෙක් ලෙස ක්‍රියා කළ ආකාරය. එබැවින් ඉදිරියේදී කළ හැකි හොඳම දේ පිළිබඳ ඔබ ගන්නා වූ තීරණ පිළිබඳවත් මා හට මෙහි සිට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මා දැනුවත් කරන්න.”

“මේ තමයි ශුද්ධෝත්තම පියතුමන් යොමු කළ ලිපිය. ඔබට පෙනෙනවා ඇති ශුද්ධෝත්තම පියතුමන් මේ ගැන අවධානයෙන් ඉන්නවා. ඒ වගේම අපිට උපරිම සහයෝගය දෙනවා.”