වැලිකඩ බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පාලනය කෙරේ

October 23, 2021 at 2:47 PM

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ කලහකාරී හැසිරීමත් සමග එය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 50 දෙනෙකු පමණ තම සිරදඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා මාසයක සිට විරෝධතාවයේ නිරත වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මෙය කලහකාරී ක්‍රියාවක් ලෙස උත්සන්න වූයේ රැඳවියන් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලයට නැගීමට තීරණය කර පහත සිටි අනෙකුත් සිරකරුවන් වෙත ආහාර විසි කිරීමට පටන් ගැනීමෙන් පසුව බවයි ඔහු සඳහන් කර සිටියේ.

බන්ධනාගාර නියාමකවරුන් බන්ධනාගාරය වෙත කැඳවා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.