පළමු වරට කළු දීලිර රෝගයෙන් මෙරට පුද්ගලයෙකු මියයයි

October 22, 2021 at 4:39 PM

පලමු වතාවට කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කළු දිලීර සංකූලතා හේතුවෙන් සිදු වූ මරණයක් මෙරටින් වාර්තාවී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර පවසනවා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නිව්මෝනියාව වැළඳීමෙන් මෙම පුද්ගලයා සැප්තැම්බර් මස 29 වන දින මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සැප්තැම්බර් මස 29 වෙනිදා යොමු කරනු ලැබූ බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.

එම පරීක්ෂණ වාර්තාව ඊයේ දිනයේදී ලැබුණු බවත්, මියගිය පුද්ගලයාගේ පෙනහැල්ලේ කළු දිලරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවෙක් වනවා.

කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කළු දිලිර සංකූලතා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය මෙය බවද බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය විසින් සිදුකරනු ලැබුවා.