නොවැම්බර් 01 වෙනිදා සිට බුස්ටර් එන්නත ලබාදෙන්න ජනපතිගෙන් තීරණයක්

October 22, 2021 at 2:15 PM

සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක කේෂ්ත්‍ර ඇතුළු ඉදිරි පෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබාදී අවසන් කිරීමට ද තීරණය කෙරුණා. එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබුවා.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි කැපවීම හේතුවෙන් ඉතා ඉක්මණින් කොවිඩ් වසංගතය පැතිර යාම පාලනයට හැකි විය. එම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ශුන්‍ය කිරීමට සහරෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුකර ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍ය ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

අද (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරුණා.

අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණිය ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කළේ. උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රියවාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට පමණක් පළමු අදියර යටතේ ගමනා ගමනයට අවසර දීමට කොවිඩ් කමිටුව නිර්දේශ කළේ. අමතර මැදිරි එක්කර දැඩි තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබුවා.

ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වනදා සිට ඉවත් කිරීම කෙරෙහි දඅවධානය යොමු විය. මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තිකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේ.