ඉන්දියාවේ සිට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවන් මගින් දිවයිනට

October 20, 2021 at 8:16 AM

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය අද අලුයම ගුවන් මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 1156 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්.

මෙවර මහ කන්නය වෙනුවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇණවුම් කර ඇති අතර , ඉන් පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක ප්‍රමාණයක් එලෙස දිවයිනට රැගෙනවිත් තිබෙනවා. එම දියර පොහොර තොගයේ බර මෙට්ට්‍රික් ටොන් 45 ක්. මෙම සතිය තුළ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමටයි සැළසුම් කර ඇති බව සඳහන්.

දිවයිනට රැගෙන ආ පොහොර තොගය වත්තල , හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබෙනවා.

මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර , මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදාහැරීම අද දිනයේම ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ප්‍රකාශ කර සිටින්නේ.