අවිශ්කගේ වෙනස්කමට හේතුව මහේලයි : පුහුණුකරු මීකි ආතර් කියයි

October 17, 2021 at 8:45 PM

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු අංක 04 පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරිමට යොමු කරනු ලැබුවේ දැනට උපදේශකවරයෙකු ලෙස කණ්ඩායමට එක්වී සිටින මහේල ජයවර්ධනගේ උපදෙස් මත බව ප්‍රධාන පුහුණුකරු මීකි ආතර් පවසනවා.

ආරම්හක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන විට දැඩි පසුගාමීත්වයක් පෙන්නුම් කළ අවිශ්ක ප්‍රනාන්දු, ICC T20 තරගාවලියට පෙර පවත්වන ලද පුහුණු තරගවලදී අංක 04 ස්ථානයේ පිතිකරණයට යොමු කිරීමත් සමග සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ලැබුවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ලබන පළමු තරගයට පෙර මාධ්‍යවේදීන් අමතමින් මීකි ආතර් ප්‍රකාශ කර සිටියේ, අවිශ්කගේ පිතිකරණ රටාව සම්බන්ධයෙන් වූ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මහේල ජයවර්ධන විසින් ඔහු අංක 04 ස්ථානයේ පිතිකරණයට යොමු කිරිමට තීරණය කළ බවයි.

අවිශ්ක ස්ථාවරත්වයට පත්වෙන්න පන්දු 10-15ක් අවශ්‍ය වෙනවා. මහේල මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරා. ඔහු පැවසුවා අවිශ්ක අංක 04 පිතිකරුගේ භූමිකාවට ක්‍රීඩා කිරිම යෝග්‍යයි කියා. මන්ද පන්දු රකින්නන් දුරින් රඳවා තිබීම නිසා අවිශ්කට පහසුවෙන් කෙටි ලකුණු ලබා ගනිමින් ඔහුගේ ඉණිම ගොඩ නගා ගැනීමට එය ඉවහල් වෙන නිසා, මීකි ආතර් ප්‍රකාශ කර සිටියා.