හෙට සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

October 15, 2021 at 8:18 AM

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ඔක්තොබර් 1 වන දා සිට ඔක්තෝබර් 15 වන දා දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර ඔක්තෝබර් 16 වන දා සිට ඔක්තෝබර් 30 වන දා දක්වා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ (14) නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම නව මාර්ගෝපදේශවලට අනුව, විවාහ මංගල උත්සව පැවත්වීමේදී ශාලාවේ ඇතුළු කර ගත හැකි පුද්ගලයින් ගණන 25%ක් පිරෙන ආකාරයට, උපරිමය පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින් මංගල උත්සව පැවත්වීමට අවසර ලබාදී ඇත.

එමෙන්ම අවමංගල්‍ය උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස 15ක් දක්වා ඉහළ නංවා තිබෙන අතර රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ සඳහා ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් 25% පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයින් 50කට යටත්ව සිදු කළ හැකි.

අවන්හල්වල ආසන ධාරිතාවෙන් 30%ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකි අතර උපරිමය ගනුදෙනුකරුවන් 50කට සීමා වන අතර එළිමහන් ආසන සකසා ඇත්නම් ගනුදෙනුකරුවන් 60ක් ඇතුලත් කර ගත හැකි.

එළඹෙන ඔක්තෝම්බර් මස 31 වන දින පවතින තත්ත්වය සමාලෝචනය කෙරෙන අතර එම තත්ත්වයට අදාළ මාර්ගෝපදේශයන් එවිට නිකුත් කිරීමට නියමිතයි.