පරාජය භාර ගන්න සුදානම් වෙන්න – යෝහානි කියයි

October 14, 2021 at 8:09 AM

” පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්.” යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට පත්ව සිටින ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය අද සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියාය .

ශ්‍රී ලංකාව තුළ ඇය විසින් පැවැත්වූ පළමු වැනි ප්‍රවෘත්ති සාකච්ඡාව මෙය වූ අතර , එය ” ජාත්‍යන්තර රසිකත්වයේ ආදරණීය ශ්‍රී ලාංකීය මියුරු මියැසිය – යොහානි ද සිල්වා ” යනුවෙන් නම් කර තිබුණි .

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ” දිනවමු මව්බිම පදනම ” විසින් සංවිධානය කර තිබූ අතර , එය මීගමුව , පමුණුගම , ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් රෙස්ටුරන්ට් හී දී පැවැත්වුනි .

මෙහිදී අදහස් දැක්වූ ගායිකා යොහානි ද සිල්වා මෙසේ පැවසුවාය .

මගේ ජනප්‍රියත්වය මාස දෙකක් , තුනක් තුළ හදිසියේම ඇති වූ දෙයක් . ඒ ජනප්‍රියත්වය මොන විදියට ද සිදු වුණේ කියල , මමත් තවම දන්නෙ නෑ .

මේ සියල්ලට මගේ ” ලුණු ” නැමැති සංගීත කණ්ඩායමෙන් සහයෝගය ලැබුණා .

මම 2019 වසරේ දී ගණකාධිකරණය විෂයෙන් පශ්චාත් උපාධිය හදාරලා , ලංකාවට ආවා . එහිදී මට තෝරා ගැනීම් දෙකක් කරන්න සිද්ධ වුණා . එකක් ඕස්ට්‍රේලියාවේම පදිංචි වෙලා ගණකාධිකාරීවරියක් වීම . අනෙක ශ්‍රී ලංකාවට ඇවිත් සංගීත ක්ෂේත්‍රයට පිවිසීම .

මෙම ලංකාවට ආව . ඇවිත් සංගීතය මුල ඉදලා ඉගෙන ගත්තා .

මගේ මාපියන් මට ඒ සදහා ලොකු සහයෝගයක් ලබා දුන්නා .

මට දැනට රටවල් ගනනාවකින් ජාත්‍යන්තර සංගීත ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . මේ අවුරුද්දෙ දෙසැම්බර් වීමට පෙර ඩුබායි සහ ඕමානයේ සංගීත ප්‍රසංග සදහා යා යුතු වෙනවා . එසේම ඇමෙරිකාවේ , එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් ගනනාවක ද , ඉදිරි වසර තුළ ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . යැයි ද පැවසුවා.