ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් 05න් 4කට පමණක් අමෙරිකාවට යෑමට අනුමැතිය

October 9, 2021 at 11:21 AM

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර ලබාදී ඇති කොවිඩ් මර්ධන එන්නත් වර්ග ලබාගෙන සිටින පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීමට අවසර ලබාදීමට තීරණය කර ඇති බව එරට රෝග නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ කොවිඩ් එන්නත් වර්ග 06කට මෙලෙස අමෙරිකාවට ඇතුල්වීමේ නිර්ණායකය හිමිව ඇති බවයි අමෙරිකාවේ රෝග නිවාරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ භාවිතයට ගනු ලබන කොවිඩ් එන්නත් වර්ග වලින් 04කට පමණක් අමෙරිකාවේ සංචාරය කිරීමේ අවසරය හිමිවනු ඇති.

ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ෆයිසර් සහ සිනොෆ්‍රෑම් එක්සත් ජනපදයට යන විට අනුමත කරන ලද එන්නත් අතර වේ.

රුසියාවේ ස්පුට්නික් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති හෙයින් එය තවමත් අනුමත කර නොමැත. කෙසේ වෙතත්, මෙම එන්නත හදිසි භාවිතා කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලබා දෙනු ඇතැයි රුසියානු බලධාරීන් බලාපොරොත්තුවෙන් සිටියි.

මේ වන විටත් ලංකාවේ 160,000 කට ආසන්න පිරිසකට ස්පුට්නික් එන්නත ලබා දී ඇත.