පළාත් අතර සංචරණය ගැන ගත් තීරණය

October 8, 2021 at 1:25 PM

අවුරුදු 18 -19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවෙ.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා. එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කිරීමට ද උපදෙස් ලබා දෙනු ලැබුවා.

මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහණයෙන් 98% ක් එන්නත ලබාගෙන ඇති බව අනාවරණය කෙරුණා. වයස් කාණ්ඩය 20 -30 අතර එන්නත ලබානොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ.

වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත ලබාදී තිබේ. දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂකවරු සඳහන් කර සිටියේ.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේ තීරණය විය.

එන්නත්කරණය සාර්ථක කරගැනීමට දායක වූ සෞඛ්යඛ හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පළ කර සිටියා.