දුම්වැටි මිල ඉහළ නංවන සුත්‍රය

October 8, 2021 at 8:10 PM

දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ වන විට එම මිල සූත්‍රය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඒ ගැන සාකච්ජා කර තිබෙන අතර දුම්වැටි සඳහා බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට එය ඇතුලත් කරගැනීමට බලාපොරොත්තු වෙන බවයි දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා කියාසිටියේ.

මෙලෙස මිල සූත්‍රයක් හඳුන්වා දීමට අදහස් කළේ පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම වැඩි නොවීම බවද ඔහු සඳහන් කළා.

” මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 2022 දී වැඩි කර ගැනීමට හැකි වුවහොත් 2022 සිට 2026 දක්වා කාලය තුළ රු. බිලියන 125ක පමණ සෘජු ආදයමක් රජයට ලැබෙනවා.

මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 6%කින් සෑම වසරකම වැඩි වෙනවා. ඒ වගේම තමයි ලංකාව තුළ විකිණීමේ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. සෞඛ්‍යමය පැත්තෙන් එය ඉතාම වටිනා දෙයක්.

දුම් වැටිය නිස දවසකට 60ක් මියයනවා. දුම්වැටි නිසා ඇතිවන රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමට ලැබෙන ආදායමට වැඩ තුන් හතර ගුණයක් වැය වෙනවා.”