ඉදිරි සය මාසික ආර්ථික සැලසුම : ඔබ දැන ගත යුතු ප්‍රධාන කරුණු

October 1, 2021 at 12:20 PM

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක අනිවාර්ය තැන්පතු සීමාව අද සිට ඉවත් කෙරෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කලේ සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම අද (01) එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

ඊළඟ මාස 6 තුළ දී “පරාටේ ගිවිසුම” හරහා දේපළ පවරා ගැනීම නොකර සිටින්න ලෙස සියලු බැංකුවලට දැනුම් දුන් බවයි මෙහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැරණි ණය සහ ණය පොළිය සදහා සහනයක් ලබාදීම සඳහා මහ බැංකුවෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙනකර තිබෙන බවද මෙහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර, වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙස ද බැංකුවලට උපදෙස් ලබා දුන් බවටද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව බිලියන 05කට ආසන්න සංචිත ප්‍රමාණයක් ඇති බව පැවසූ මහ බැංකු අධිපතිවරයා, 2021 වසරේ මේ දක්වා බිලියන 5.6ක ආපසු ගෙවීම් සිදුකර ඇති බවද ප්‍රකාශ කර සිටියා.

2019 වසර අවසන් වෙද්දී ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් ඉතුරුවූ බවත් ඉන් පසුව ණය ගෙවීම් වශයෙන් බිලියන 06ක් සිදුකළ බවද කියා සිටියා.

ඉදිරියේදී ණය ගෙවීම් සිදුකර ගැනීමට නොහැකි වාතාවරණයක් ඇතිවෙනු ඇති බවට ඇතැමුන් උපකල්පනය කර ඇති නමුත් එය එසේ සිදුනොවී ආර්ථිකය කඩා වැටීමකට ලක් නොවී කටයුතු කිරීමේ හැකියාව ඇති බවට ද ප්‍රකාශ කර සිටියා.