මාධ්‍යවේදීන් CIDයට කැඳවීම ගැන පොලිසියෙන් නිවේදනයක්

September 30, 2021 at 1:49 PM

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම පිළිබද කනගාටුව පළ කරන බවත් වගකීම් විරහිතව කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන අතර එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය සඳහා යම් මාධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවල දී එම මාධ්‍ය ආයතනය විසින් සහය ලබාදෙන බැවින් මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුව වෙත කැදවීම සාමාන්‍යයෙන් සිදුනොකරන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

වාර්තා වී ඇති එම සිදුවීමේදී අපහසුතාවට පත්වූ මාධ්‍යවේදීන් වෙත කණගාටුව පළ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තිමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මාධ්‍යවේදීන් ඇතුළුව මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පොලීසිය සෑම විටම ගරු කරන බව ද එම නිවේදනයේ සඳහන්.