අවදානම පහව ගිහින් නැහැ : වගකීම සියලු දෙනා සතුයි – ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියයි

September 30, 2021 at 8:20 AM

කොවිඩ් – 19 වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා. යළි කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්ද ඇති බවයි ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ.

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අන්තර් පළාත් සංචරණ සීමා විවෘත නොකළ යුතු බවයි.

“අපි සියල්ලෝම එකතුවෙලා යළි රැල්ලක් නොඒමට වගබලා ගැනීම මේ අවස්ථාවේ දී අත්‍යාවශ්‍යයි. මොකද සමාජයක් විදියට තව රැල්ලක් ඔරොත්තු දෙන්නේ නැතිවෙන්න පුළුවන්. රටේ ජනතාවගෙන් සියයට 70ක් එන්නත්කරණයට යොමුවීමට නම් අපිට වයස 20ට වැඩි අය 100%ක් එන්නත්කරණය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. 20ට වැඩි අයගෙන් 20%ක් එන්නත්කරණය සිද්ධවෙලා නෑ. ඒ අනුව රෝගය සම්ප්‍රේෂණය කිරීමේ වැඩි හැකියාවක් තාම තියෙනවා. අන්තර් පළාත් සංචරණය ඇරියොත් එකපාරට ම බොහෝ වෙලාවට කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන්, වන්දනා ගමන් කියන කටයුතුවල වැඩියෙන් ම යෙදෙනවා. ඒ නිසා රට විවෘත කිරීම ක්‍රමවත්ව හිමින් කළ යුතුයි. අන්තර් පළාත් සංචරණය නැවැත්වුවහොත් අපි හිතනවා එය යහපතක් වෙන්න පුළුවන් කියලා.” වැඩිදුරටත් අදහස් දක්වමින වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කර සිටියේ.