කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් 55ක් ජිවිතක්ෂයට පත්වෙලා

September 27, 2021 at 1:47 PM

මෙරට ගර්භණී මව්වරුන් අතරින් සියයට 90ක් මේ වන විටත් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ,ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලිද සිල්වා සඳහන් කළා.

ගර්භනී මව්වරුන් එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විටත් සාර්ථකව සිදුවන බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරිය, මේ වන විටත් කොවිඩ් ආසාධිත ගර්භණී මව්වරු ප්‍රමාණය වාර්තා වීමද සීඝ්‍රයෙන් අඩු වී ඇතැයි සඳහන් කර සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය චිත්‍රමාලි මේ බව සඳහන් කළා.

මෙරට ගර්භනී මවුවරු 7000ට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් , ඒ අතුරින් ගර්භනී මව්වරු 55 ක් , මිය ගොස් ඇති බවසඳහන් කර සිටියා.

වාර්තා වූ මෙම සියළු මරණ මෙම වසරේ මැයි මාසයෙන් පසු වාර්තා වූ බවද පෙන්වා දුන්නා. තවද මෙම මරණයට පත් මවුවරු සියළු දෙනාම, කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොසිටීමද මෙහි විශේෂත්වයක් බව පැවසු ඇය ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් මාතෘ මරණ ප්‍රමාණයක් මෙරටින් වාර්තා වූ බවත් මේ හේතුවෙන් මාතෘ මරණ අනුපාතිකයද ඉහළගිය බව ද සඳහන් කළා.

දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් බෝවන රෝග පිළිබඳ කමිටුව නිරන්තරයෙන් අවධානයෙන් පසු වූ බව පැවසු ඇය දරුවන් අතර කොවිඩ් වැළඳී සිදු වන මරණ
සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී සංජනනීය අබාධ ඇතුළු රෝග තත්වයන් ඇති දරුවන් වැඩි වශයෙන් මරණයට පත්ව ඇති බව හඳුනාගෙන් තිබේ.

ඒ අනුව විවිධ රෝගාබාධ සහිත දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ප්‍රථමයෙන් ලබා දීමට තීරණය කළ බවයි වෛද්‍ය චිත්‍රමාලි සඳහන් කළා.

ඇතැම් තරුණ තරුණියන් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ මැලිකමක් දැක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මද සරුභාවය, ලිංගික බෙලහීනතාවය වැනි ප්‍රජනන ගැටළු සහ කොවිඩ් 19 එන්නත්කරණය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද ඇය අවධාරණය කළා.

එන්නතේ සංකුලතාවයන් සම්බන්ධ පෝස්ට් කොවිඩ් සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනය කරන බවද ඇය ප්‍රකාශ කර සිටියා.