රට විවෘත කිරීමෙන් පසුවත් රාත්‍රියට ඇඳිරි නීතිය පැනවීමේ සුදානමක්

September 26, 2021 at 9:56 AM

ඔක්තෝම්බර් පළමු වනදා සිට රට සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අපේක්‍ෂා කළද රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව බොහෝදුරට දිනපතා රාත්‍රී දහයේ සිට පසු දින අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරී නීතිය පැනවීමටයි නියමිතව ඇත්තේ.

ඔක්තෝම්බර් පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටිනවා.

රට විවෘත කිරීමෙන් පසුව විවාහ මංගල උත්සව සදහා දැඩි සීමා පැනවෙනු ඇති. සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සව නිවෙස් තුළ පමණක් සිදු කිරීමට අවසර ලබාදීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත්තේ.

අවමංගල්‍ය උත්සව සදහා මෙන්ම ජනතාව සමූහ වශයෙන් එක් විය හැකි තවත් ක්‍රියාකාරකම් රැසක් වෙනුවෙන්ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හරහා දැඩි සීමා පැනවෙනු ඇති.

මේ අතර සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් පළමු වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ ප්‍රකාශ කළා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 30 වනදා ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ.

රට විවෘත කළද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසුවේ.

(උපුටා ගැනීම : නෙත් නිවුස් වෙබ් අඩවිය)