කොරෝනා ආසාදිත බිරිය ඝාතනය කළායැයි සැමියා අත්අඩංගුවට

September 21, 2021 at 10:21 PM

දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි 45 හැවිරිදි වියේ පසුවූ දෙදරු මවක් වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම යුවළට වයස අවුරුදු 13ක පුතකු සහ වයස අවුරුදු 06ක දියණියක සිටින බවත් පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් මස (15) වන දින රාත්‍රී 10ට පමණ තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද පැමිණීමෙන් පසුව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ රෝහල කරා ගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියි.

මළ සිරුර රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවත් පවසා ඇත.

ඉන්පසු සිදු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බවත් පොලිසිය සඳහන් කර සිටියේ.

මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සීරීම් තුවාලයක් තිබූ බැවින් එය නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදීම නිසා ඇති වූ සැකයක් මත පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ලට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබා ගත් නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එම්.එම් සම්පත් සේනතුංග මහතා ලබා දුන් පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත මෙම මරණය සිදුව ඇති බවයි

ඒ අනුව සිදු කළ දීර්ඝ පරීක්ෂණයේදී මරණ සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඇයගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා යුග දිවියක් ගත කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

(උපුටා ගැනීම : ලංකාදීප පුවත්පත)