උසස් පෙළ විභාගය පැවැත්වීම සහ සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සාකච්ජා කරයි

September 21, 2021 at 3:49 PM

උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ට නියමිත විෂය මාලාව අවසන් කරගැනීමට නොහැකිවීම ආදී ගැටළු සම්බන්ධයෙන්, අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ඒ පිළිබඳ විභාග කොමසාරිස්වරයා සමගද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ෆයිසර්(Pfizer) එන්නත ලබාදිම සඳහා ජනාධිපතිතුමා ලබාදී ඇති නියෝගය අනුව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය අතර සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

පළමුව උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් දියත් වී ඇති බවද ඔහු කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ හා චම්පික රණවක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.