ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

September 19, 2021 at 10:57 AM
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි.

එරට වේලාවෙන් 18 වනදා ප.ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ ජනධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් විසින් පිළිගනු ලැබුවා.

“කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න තේමා කරගනිමින් 21 වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇරඹෙනවා.

මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට පෙරවරුවේ ආරම්භ වන අතර, සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ තිබෙනවා.

රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපතිවරයා සිය දේශනය සිදු කරන අතර, 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට අපේක්ෂා කරයි.