විස්සයි 20 තරග සංචාරයේ ක්‍රීඩකයින්ට එල්ලවන චෝදනාවක් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

September 16, 2021 at 7:58 PM

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් හිතාමතාම දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වු බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අන්තර්ජාතික මට්ටමේ විශාල මුදලක් ගෙවන ප්‍රිමීයර් ලීග් විස්සයි 20 තරගාවලියකට යෑමට අපේක්ෂාවෙන් සිටි ක්‍රීඩකයකු ආබාධයට ලක් නොවී වැඩි පරිස්සමෙන් ක්‍රීඩා කළ බවට විවිධ වාර්තා පළවීමත් සමගයි.

වෙනත් තරගවල පිටියේ ඉතා කාර්ය බහුල ස්ථානවල පන්දු රකින මේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකානු තරගාවලියේදී කාර්ය බහුල නොවන ස්ථානවල හා හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමට අවස්ථාව ඉල්ලා ඇති බවටයි ඇතැම් වාර්තාවල දැක්වුණේ. මෙම ක්‍රීඩකයා පන්දු රැකීමේදී ආබාධයකට ලක් වුව හොත් ඉදිරියේ පැවැත්වෙන ප්‍රිමීයර් ලීග් තරගාවලිය අහිමි වේ යැයි බියෙන් පසු වීම මේ තත්ත්වයට හේතු වී ඇති බවටද ප්‍රකාශ වුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ එවැනි ක්‍රිඩකයින් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කිසිඳු පැමිණිල්ලක් මේ වනතෙක් ලැබී නොමැති බවයි.

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදානම් වන මෙම අවස්ථාවේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයවීම තුළ කණ්ඩායම ව්‍යාකුල තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බැවින් මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරයෙන් වැලකි සිටින ලෙසයි ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින්නේ.