සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙනවා ද ?

September 2, 2021 at 1:05 PM

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය මෙම සැප්තැම්බර් මස 06 වෙනිදායින් පසුව දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී රැස්වීමට නියමිත කොවිඩ් -19 කාර්ය සාධක බලකා රැස්වීමේදී ගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

අගෝස්තු 20 වෙනිදා සිට දින 10ක කාලයක් සඳහා නිරෝධායන ඇඳීරි නිතිය පැනවූ අතර පසුව එය සැප්තැම්බර් 06 වෙනිදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඒ සෞඛ්‍ය අංශවල ඉල්ලීම පරිදි.

මෙරට වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව ඔක්තෝම්බර් 02 වෙනිදා දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 වෙනිදා දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුව නිර්දේශ කර සිටිනවා.

මෙම ක්‍රියාමාර්ග ගැනීමෙන් කොවිඩ් -19 වෛරසයෙන් මිය යා හැකි ජිවිත දහස් ගණනක් බේරා ගනිමට හැකිවනු ඇති බවයි.

අගෝස්තු 31 වෙනිදායින් පසුව රටේ අගුලු දැමීම සැප්තැම්බර් 18 වෙනිදා දක්වා හෝ ඔක්තෝම්බර් 02 වෙනිදා තෙක් දීර්ඝ කිරිමෙන් පිළිවෙලින් මරණ 7,500ක් සහ 10,000ක් අවම කරගත හැකි බවයි අගෝස්තු 26 වෙනිදා රැස්වූ එම විශේෂඥ කමිටුව පෙන්වා දී ඇත්තේ.

මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියේ වත්මන් නිරෝධායන ඇඳිරි නිතිය තවත් සති 02කින් දීර්ඝ කිරිම සුදුසු බවයි.

මේ අතර පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කලේ රට තවදුරටත් අගුලු දැමීම ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි බවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව රට විවෘත කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කළේ.