හිටපු අමෙරිකානු ජනපතිට සුවය ගෙන දුන් කොවිඩ් ඖෂධය මෙරටට ගෙන්වීමට අවසර

September 1, 2021 at 7:53 AM

කොවිඩ් රෝගීන් සඳහා ලබාදෙන “රෙගන් කෝව්” නමැති ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබෙනවා. ඖෂධ වර්ග 02 ක් මිශ්‍රකර එන්නත් කරන “රෙගන් කෝව්” මගින් කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිබව පිළිගනිමින් ලොව රටවල් රැසක් එම ඖෂධය කොවිඩ් රෝගීන්ට ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

එම ඖෂධය ලබාදීමෙන් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම සියයට 81 කින් අඩු වන බව පරීක්‍ෂණවලින් සනාථ කර ඇති බව සදහන්.

නිධන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට ද මෙම ඖෂධය සුදුසු බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව අමෙරිකාව, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ද දැනටමත් කොවිඩ් රෝගීන් සඳහා එම ඖෂධය ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

“රෙගන් කෝව් ” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගයි.

සංකූලතා සහිතවුවද ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් සුවය ලැබීමත් සමග ඔහු විසින්ම එම ඖෂධය සම්බන්ධයෙන් අනාවරණ කරනු ලැබුවා.