කොවිඩ් වෛරසය ආසාදිතව සිටි මවක් තුන් නිවුන් දරු උපතක් සිදුකරයි

September 1, 2021 at 10:13 PM

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි මවකට දාව තුන් නිවුන් දරු උපතක් පුත්තලම මුලික රෝහලේදී සිදුව ඇති බව වාර්තා වනවා.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි මෙම මවට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව රෝහල් ගතව දින 14ක කාලයක් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර ඒ වන විට සත් මස් ගැබිනියක්ව සිට ඇත.

රෝහල් ගතව සිට නැවත නිවසට ගොස් දින කිහිපයකට පසුව එම මව නැවත රෝහල් ගත කිරීමට සිදුව ඇත්තේ ඇයට ඇතිවූ අධික රුධිර පීඩනය තත්ත්වය හේතුවෙන්ය.

ඒ වන විට ඇයගේ දරු කළලයට සති 34ක් වී ඇති අතර පසුව පුත්තලම මුලික රෝහලේ ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පී.බී වලිසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ ඇය 35වන සතියේදී සිසේරියන් සැත්කමකින් මෙම නිවුන් දරුවන් තිදෙනා බිහිකරන්නට සමත්ව තිබෙනවා.

එලෙස මොලොව බිහිවී ඇත්තේ බිළිඳියන් දෙදෙනෙකු සහ බිළිඳෙකු වන අතර, දරුවන් තිදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.