“පොට්ට නව්ෆර් අපේ කාලයේ තවත් එක් අපරාධකරුවෙක් ”   

August 29, 2021 at 10:56 AM

ප්‍රියන්ත ජයකොඩි, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) විසින් 

මොහොමඩ් නියාස් නව්ෆර් අපරාධ ලෝකයේ වඩාත් ප්‍රසිද්ධව හිටියේ “පොට්ට නව්ෆර්” නමින්

ඔහු කොළඹ ගෙන්දගම් පොළොවෙන් බිහි වෙච්ච කෙනෙක්. ඔහු උපන්නේ කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම් ජාතික මව්පිය දෙදෙනෙකුට දාවයි.තම ළමා කාලය දැඩි ආර්ථික අපහසුකම් මැද්දේ දැඩි දරිද්‍රතාවේ කින් යුතුව දිවි ගෙවූ ඔහු කුඩා කල නිසි පාසැල් අධ්‍යාපනයක් පවා නොලද කෙනෙක්. යන්තම් තරුණ වියට එළඹෙද්දී ම නාගරික මුස්ලිම් තරුණයන් සුපුරුදු ලෙස සිදු කරන පරිදි නවුෆර් තරුණයාත් ව්‍යාපාරයකට අත ගහනවා ඔහුගේ පුංචි ව්‍යාපාරය වුණේ අච්චාරු කරත්තයක්. උදේ ඉඳලා රෑ වෙනකන් අඩි පතුල් ගෙවෙන කන් ගෙන්දගම් පොළොවේ එහා මෙහා ඇවිදීමින් අච්චාරු කරත්තය තල්ලුකරගෙන ජීවිතය ජයගන්න ඔහු උත්සාහ කලත් ඒඉම හුඟාක් දුර බවයි ඔහුට වැටහෙන්නේ. මෙහෙම ටික කාලයක් වෙළඳාම කරගෙන ඉන්න අතරෙදි ඔහුට හිතෙනවා මේ ව්‍යාපාරයෙන් නම් ගොඩ එන්න බැහැයි කියල අච්චාරු කරත්තය අස්සේ හීනියට හෙරොයින් වෙළඳාමත් ඔහු ආරම්භ කරනවා. ව්‍යාපාරය සරු වෙද්දි අච්චාරු ටික ඉබේම හැලිලා ගිහිල්ලා හෙරොයින් විතරක් ඉතුරු වෙනවා. ඉතා කෙටි කලකදී නව්ෆර් කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට පත්වෙනවා. ඔහුට සල්ලි ගලාගෙන එනවා හැබැයි ඔහු ඒ සල්ලි ආයෝජනය කරනවා කොළඹ අලුත් කඩේ ප්‍රදේශය පිහිටා තිබෙන “බරකත මැන්ෂන්” කියන ලොජ් එක සහ උත්සව ශාලා දෙකක් ඔහුට අයිතියි. ඔහුගේ ලොජ් එකට වැඩිපුර ආවේ ඉන්දියානු සහ පකිස්ථානු සංචාරකයන් ඒ සංචාරකයන් මාර්ගයෙනුත් ඔහු රහසිගතව හෙරොයින් ජාවාරම සිදුකළ බව තමයි ප්‍රසිද්ධ.

1990 වර්ෂයේ මැද භාගය වන විට හෙරොයින් ජාවාරම සරු වෙද්දි ඒ හා බැඳුණු පාතාලයත් නවුෆර්ට එකතු වෙනවා කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ සිය අණසකට යටත් කරගෙන සිටි නඩරාජා විජේපාලන් නැමැති පාතාල සාමාජිකයා සමග නවුෆර් ගැටෙනවා ඒ ගැටුමේ ප්‍රතිඵලයක් හැටියට තමයි විරුද්ධවාදියෙකු තැබූ වෙඩි පහරකින් නවුෆර් ගේ දකුණු ඇහැ ඔහුට අහිමිවන්නේ එදා ඉදල තමයි නවුෆර් “පොට්ට නවුෆර්” හැටියට අපරාද ලෝකය නැවත බෞතීස්ම ලබාන්නේ.

මා විසින් මුලින්ම නවුෆර් අත්අඩංගුවට ගත්තේ 1995 කොළඹ නගරය තුළ සිදුකළ පාතාල සිද්ධීන් රාශියක් සම්බන්ධව ප්‍රශ්න කරන්න. ඔහු සතුව තිබී මිලිමිටර් 9ක් පිස්තෝල තුනක් අපි ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා . නවුෆර් වඩාත් ප්‍රසිද්ධ මොලෙන් වැඩ කරන අපරාධකාරයකු හැටියටයි .ඒ තරමටම සූක්ෂම ලෙස ඔහු අපරාධ සැලසුම් කරනවා 1996 වර්ෂය පමණ වන විට කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ පාතාල කල්ලි ජාතිත්වය මුල්කරගෙන දෙකට බෙදුන තත්ත්වයක් නිරීක්ෂණය වුණා. දමිල පාතාල කල්ලි සහ මුස්ලිම් කල්ලි හැටියට. දමිළ කණ්ඩායමට නායකත්වය දුන්නේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය සිය අණසකට යටත් කරගෙන හිටපු ඉසගමුත්තු සුදාකරන් නොහොත් “සුදා” මේ කණ්ඩායමට රමේෂ් ,අම්බිගා,තඩිබාලා,සින්නප්පන් christopher වගේ ද්‍රවිඩ ජාතිකයින් වගේම ඕල්කට් වැනි සිංහල ජාතිකයනුත් ඇතුළු වෙලා හිටිය. මුස්ලිම් කණ්ඩායමට නායකත්වය දුන්නේ මාලිගාවත්තේ අයුබ්ඛාන් සහ කුඩුනූර් වගේ අය මේ වෙලාවේ මුස්ලිම් ජාතිකයෙක් වුනු නවුෆර් වඩාත් බලවත් දමිළ පාතාල කණ්ඩායමට තමයි සම්බන්ධ වෙලා හිටියේ ඔහු ඒ තරමටම සූක්ෂම වූ කටයුතු කළඅයෙක්. අලුත්කඩේ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව ගෙ නායකයකු හැටියට සළකපු මොහිදීන් හජ්ජියාර් ඝාතනය වුණේත් නවුෆර් අතින් ඒ සිද්ධියටත් මම ඔහුව අත්අඩංගුවට ගත්තා කුඩු ව්‍යාපාරයෙන් නවුෆර් උපයනු ලැබූ ආදායම නිවැරදිව ආයෝජනය කළා. කොළඹ පිටකොටුවේ තිබෙන මව්ලානා සුපර්මාකට් එක ඔහු මිලදී ගත්තා හැබැයි ඒ මිලදී ගැනීමටත් පාතාල කණ්ඩායම් සම්බන්ධ වූ බවටයි තොරතුරු වාර්තාවුනේ.

මහධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය නවුෆර් සිඳුකළ අවසාන අපරාධය ලෙසයි සැලකෙන්නේ. නවුෆර් සම්බන්ධ මත්ද්‍රව්‍ය නඩුවක් අඹේපිටිය විනිසුරු තුමා ඉදිරියේ විභාග වුණා ඔහු දිගින් දිගටම නවුෆර් ට ඇප දීම ප්‍රතික්ෂේප කරමින් හිටියේ. මේ නඩුවට නව්ෆර් සමග තවත් එක් සහායකයෙක් ඇතුළත්ව හිටියා කෙසේවෙතත් නවුෆර් සිය සල්ලි බලය පාවිච්චි කරලා විශිෂ්ට නීතිඥ සහාය ලබාගෙන අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගත්තා. ඒ ඇප නියෝගය මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරපු අඹේපිටිය විනිසුරුතුමා ඒ නඩුවේ තවත් සැක කාරයෙක් හැටියට හිටපු අනෙක් සහායකයාට ඒ වෙලාවෙදිම ඉතා සුළු මුදල් ඇපයක් මත ඔහු ව නිදහස් කළා. මේ සිද්ධිය හේතුවෙන් නවුෆර් දැනගත්තා නඩුව මහාධිකරණ විනිසුරු තුමා ඉදිරියේ විභාග වුණොත් ඔහුට මරණීය දණ්ඩනය ඒකාන්ත බව මේ හේතුව මුල්කරගෙන තමයි ඔහු ඉතා ආධුනික අපරාධකරුවන් කණ්ඩායමක් සංවිධානය කරල මහාධිකරණ විනිසුරුතුමා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා බොරැල්ලෙ සරණ පාරෙදි වෙඩි තබා ඝාතනය කරන්නේ.

මේ සිද්ධියට අත්අඩංගුවට ගත් නවුෆර් ඇතුළු කණ්ඩායම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වෙනවා සිරගෙදර තුළදීත් ඔහු ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ හිරේ ඉඳගෙනම ඔහු සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවීමද අඛණ්ඩව සිදු කර තිබෙනවා විශේෂයෙන් ම මෙරටට නීති විරෝධී ලෙස දුම්වැටි ආනයනය කිරීම සිදු කළේ නවුෆර් ගේ ප්‍රධානත්වයෙන්. මුළු ජීවිත කාලය පුරාවටම ඔහු කළේ නීති විරෝධී දේවල් ඔහු ප්‍රථම වරට අත්අඩංගුවට ගත්ත වෙලාවේ මම ඔහුගේ නිවසට ගිහින් තියෙනවා අලුත් කඩේ ප්‍රදේශය පිහිටා තිබූ එම නිවස ඉතා සුඛෝපභෝගී නිවසක් ඔහු එකල නිදා ගැනීම සඳහා භාවිතා කලේ ජලය පිරවූ මෙට්ටයක් එහෙම නැත්නම”වෝටර් බෙඩ්” එකක් මේ නිවසේ ප්‍රධාන විසිත්ත කාමරයේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඡායාරූප එල්ලා තිබුනා ඉන් එක් පොලිස් නිලධාරියෙක් දැනට මිය ගිහින් අනෙක් පොලිස් නිලධාරියා ඉතා දැඩි ලෙස කතාබහට ලක්වුණු චරිතයක්. ඔහු එක් වතාවක් නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මගින් මෙරටින් පලා ගියා ඒ අවස්ථාවේ ඔහුට උදව් කළේ නවුෆර් එම පොලිස් නිලධාරියා රැගෙන ගිය බෝට්ටුව පැද වු පුද්ගලයා වත් මා විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම උසස් පොලිස් නිලධාරියාගේ නිල පිස්තෝලයක් නවුෆර් විසින් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයකුට ලබාදී තිබියදී තමයි ඒ විමර්ශනයේදී අප විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ . ඔහුට උදව් කළ අයට ඔහුත් නොමසුරුව උදව් කළා. දැන් ඒ සියලු පරිච්ඡේදයන් අවසන්. ඉතා දිළිඳු පුද්ගලයකු ලෙස සිය ජීවිතය ආරම්භ කර ඉතා කෙටි කලකදී මහා ධනස්කන්ධයක් එක්රැස්කර ජීවිතයේ සුවයෙන් ගත කළ යුතු සැඳෑ සමය අඳුරු සිරමැදිරියක යකඩ කූරු අතරට සීමා කරගත් අපේ කාලේ තවත් එක් අපරාධකරුවෙකු ස්වභාව ධර්මයා විසින්ම මේ ලොවින් ඈත් කළ බව පමණක් අවසානයට සටහන් කරනවා.

ප්‍රියන්ත ජයකොඩි

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)