රට වැහුවට වැඩක් නැහැ මිනිස්සු නහයයි කටයි වහගෙන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරේ නැත්නම් – රාජ්‍ය ඇමතිනි සුදර්ශනී කියයි

August 27, 2021 at 6:13 PM

ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් රට වැසීමෙන් පමණක් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් සියලුදෙනා එන්නත් ලබාගැනීම වැදගත් බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කර සිටියේ.

ජනතාව තමන් තමාව ආරක්ෂා කර ගන්නේ නම් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකියාව ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

මේ දක්වා කොවිඩ් මර්ධන එන්නත ලබා නොමැති අයෙකු සිටිනම් වහාම ලඟම ඇති ස්ථානයට ගොස් එන්නත ලබා ගැනීමට උත්සුක වන ලෙසත් එන්නත් වර්ග සොයා නොසිටින ලෙස ද අවධාරණය කර සිටියා.

” ලංකාවේ තිබේ සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාව දෙනවා. ඒ බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ළඟම තියෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න.

රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරයේ දුර තිය ගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්”.