සිදුවිය හැකි ව්‍යවසනය වළක්වා ගන්න වහා පියවර ගැනීම අත්‍යාවශ්‍යයි – හිටපු අගමැති රනිල් කියයි

August 15, 2021 at 4:26 PM

රට තුළ පවතින දැඩි කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ජනාධිපතිවරයා විසින් වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බවත් සිදුවිය හැකි මරණ 18,000ක් වළක්වා ගැනීමට වහා පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

හිටපු අග්‍රාමත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය පහතින් දැක්වෙනවා..

කොවිඩ් වසංගතය මෙරට තුල සීග්‍රයෙන් පැතිරෙනවා. මේ වන විට සමස්ථ මරණ සංඛ්‍යාව ද 5000 ඉක්මවා ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් කළ විමර්ශනයකින් මෙරට මරණ සංඛ්‍යාව 30,000 දක්වා ඉහළ යා හැකි බවට ද මත පළ කර තිබෙනවා.

කොවිඩ් වෙනුවෙන් මෙරට මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි කැපකිරීමකින් වැඩකරන අවස්ථාවක් මේක. එමනිසා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම තුළ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ද කඩා වැටීමට වැඩි ඉඩකඩක් පවතින බවට ද අනතුරු හඟවා තිබෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය මැයි මස අනුගමනය කළ පියවර ඉදිරියට ගෙන යමින් යම් යම් සීමාවන් පනවන්නේ නම් 12000 ක මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයන් සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට කටයුතු කළහොත් තවත් ජීවිත 18000 ක් පමණ රැක ගැනීමට පුළුවන් වෙතැයි සෞඛ්‍ය අංශ ද ප්‍රකාශ කරනවා.

ඇමරිකානු වොෂිංටන් විශ්වවිද්‍යාලය ද මෙවැනිම සංඛ්‍යා ලේඛන සහිත විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබුණා. අපි මේ අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය නොකළහොත් රට විශාල ව්‍යසනයකට ගමන් කරන බව ඉතාමත් පැහැදිලියි. අපේ රට බරපතල ආපදාවකටයි මේ මොහොතේ මුහුණ පා සිටින්නේ.

රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීම වෙනුවෙන් යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂය ලෙස අපි පසුගිය දා ඉදිරිපත් කළා. කොවිඩ් අර්බුදය ගැන මෙන්ම මෙම ව්‍යසනයෙන් රට මුදවා ගන්නා ආකාරය ගැන කතා කරන්න පාර්ලිමේන්තුව තුළ දිනයක් වෙන් කරන ලෙසත් මම මීට පෙර අවස්ථාවකදී ඉල්ලා සිටියා. නමුත් මේ අවස්ථාව පාර්ලිමේන්තුව රැස් වෙන්න සුදුසු අවස්ථාවක් නොවෙයි. මොකද මේ වනවිට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් කොවිඩ් ආසාදිතව සිටින්නේ.

නමුත් පාර්ලිෙම්න්තුවේ පක්ෂ නායකයන් සියළු දෙනාම කැඳවන ලෙස මම ජනාධිපතිතුමාගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනවා. එසේම කථානායකතුමන් මෙන්ම අගමැතිතුමාත් මෙම රැස්වීමට කැඳවිය යුතුයි.

ඊට අමතරව සෞඛ්‍ය ඇමතිවරුත් මේ සාකච්ඡාවට කැඳවීම අවශ්‍යයි. එහිදී රජය කොවිඩ් පාලනය කරන්න ගන්නා පියවර කුමක් ද කියා අපව දැනුවත් කරන ලෙස මම ඉල්ලා සිටිනවා. එතනදි අපට අපේ අදහස් ද ඉදිරිපත් කරමින් සාකච්ඡා කරන්න පුළුවන්.

අනෙක් කාරණය මේ මරණ සංඛ්‍යාව අඩු කරගැනීමට සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර ගනිමින් සියළු දෙනාට සෞඛ්‍ය පහසුකම් සම්පාදනය කරන වැඩපිළිවෙළක් සකසන්න අපි කැපවිය යුතුයි. එහිදි සියළු දෙනාටම සාකච්ඡා කොට එක් මතයකට පැමිණිය හැකියි. එම නිසා කාලෝචිත වන්නේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීම බව මාගේ අදහසයි.

මෙම යෝජනාව ගැන සලකා බලා පක්ෂ නායක රැස්වීමක් ඉක්මණින් කැඳවන ලෙස මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අනෙකුත් නායකයින්ට ද ඔවුන්ගේ මතය, අදහස් හා යෝජන එහිදි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති. එතනදි අප සැමට එකඟ විය හැකි කරුණු ගණනාවක් තිබේවි.

දේශපාලනඥයන් මෙලෙස කතා කරද්දි, දේශපාලනඥයන් නොවන ආගමික නායකයින්, ව්‍යපාරිකයන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නායකයන් සමගත් සාකච්ඡා කරන්න කියලා මම යෝජනා කරනවා.