අධිවේගී මාර්ගවලට වැරදි තොරතුරු දෙන අයට එරෙහිව නීතිය දැඩි කෙරේ

August 15, 2021 at 10:21 AM

පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඊයේ (14) දිනයේදී බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 582ක් ආපසු හරවා යැවූ බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිදුකළ නිරෝධායන මෙහෙයුම්වලදී පුද්ගලයින් 108 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

එම මෙහෙයුම්වලදී මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,359ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මේ අතර අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන වැරදි තොරතුරු ඉදිරිපත් කළහොත් ගමනාන්තයේ දී එම පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

අධිවේගී මාර්ගයට ඇතුළු වන සෑම ස්ථානයකදීම එම වාහනයේ ගමනාන්තය පිළිබඳව විමසා බලා පළාත් සීමා උල්ලංඝනය වන්නේ නම් එම වාහන නැවත හරවා යවන බවත් කිසියම් පුද්ගලයෙකු අධිවේගී මාර්ගයට ඇතුළු වන විට වැරදි තොරතුරු ලබා දුනහොත් පිට වන ස්ථානයේදී නීති ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.