සියලුම රෝහල්වල ස්ථාපිත විශේෂ ඒකක කොවිඩ් රෝගීන් සඳහා වෙන් කෙරේ

August 10, 2021 at 3:13 PM

දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සිදු වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.

මේ අතර දිවයින පුරා රෝහල්වල විශේෂ ඒකක සඳහා වෙන් කර තිබූ වාට්ටුද කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට පියවර ගත් බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේ.

එම විශේෂ ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන්ද කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදාගෙන ඇතැයි පැවසූ රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා යෑම සෞඛ්‍ය අමාත්‍යාංශය හා රෝහල් ප්‍රධානීන් හා එක්ව සාර්ථකව ලෙස කළමනාකරණය කර ඇතැයිද සඳහන් කර සිටියේ.

මේ අතර ආසාදිතයෙකුගේ උගුරේ වයිරස ප්‍රමාණය වැඩි වනවිට ඒවා කෙළ බිඳිති මගින් මෙන්ම වාතය මගින්ද පැතිරෙන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ.

මුල්ම අවස්ථාවේදී ආසාදිතයෙකුගේ සෙම පටලවලින් වෛරසය හමුවූයේ ඒවා හතළිස් වතාවක් පමණ වර්ධනය කිරීමේදී බවත් ඊට පසු ඒවා වර්ධනය කළ යුතු වාර ගණන 30-33දක්වා අඩුවූ බවද ඔහු සඳහන් කර සිටියා.

ඉන්පසු දෙවැනි රැල්ලේදී සෙම පටල වාර 22 – 23 අතර වාර ගණනක් වර්ධනය කිරීමේදී වෛරසය හමුවූ බව පැවසූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, පසුගිය මාර්තු මාසයේදී එම ප්‍රමාණය තවත් අඩු වෙමින් 12 -15ත් අතර වාර ගණනක් වර්ධනය කිරීමේදී වෛරසය හමුවූ බවද පෙන්වා දුන්නේය.

උගුරේ සෙම පටල වර්ධනය කිරිමේ එක් වාරයකදීම වෛරසය හමුවන තත්ත්වයක් මේ දිනවල පෙනෙන්නට ඇතැයිද ඔහු සඳහන් කළේ.

පවතින තත්වය යටතේ සියලුම දෙනා කොවිඩ් එන්නත්කරණයට යොමු වීම වැදගත් බවත් කිසිවකු හෝ පූර්ණ එන්නත්කරණයට ලක් නොවී සෙනග රැඳෙන ස්ථානවලට යෑම අවදානම් බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.

එන්නත්කරණයට ලක්වුවත් මුව ආවරණ පැළඳීම දිගටම කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.