සති 04කට රට වසන්න : සෞඛ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලයි

August 10, 2021 at 8:41 AM

සති හතරක කාලයක් සඳහා වහාම නිරෝධායන ඇඳිරිනීතිය පනවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙම දැනුම්දීම කර තිබේ. ශ්‍රී ලංකාවෙන් දෛනිකව හමුවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 3000 සීමාවට ළඟා වීම හා ඩෙල්ටා ප්‍රභේදය 100%ක වේගයෙන් පැතිර යෑම ඊට හේතුවයි.

දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව ද 100ට ආසන්නයේ පවතියි. වාර්තා වී ඇති මරණ අතරින් බහුතරය වයස අවුරුදු 60 ඉක්මවූවන් වීමද විශේෂත්වයකි. දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. එම සංඛ්‍යාව 1500 සීමාවේ පවතියි. එම සංඛ්‍යාවෙන් ද බහුතරය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී ගනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. එහෙත් ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළේ එන්නත් කරණය කරන බැවින් රට වැසීමේ අවධානමක් නොමැති බවයි.

(උපුටා ගැනීම : අරුණ පුවත්පත)