ආසාදිතයන්ට අද සිට නිවෙස් තුළම ප්‍රතිකාර

August 9, 2021 at 10:24 AM

සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ රඳවා අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ අද (09) සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය කිරීම සඳහා රජය මෙම පියවර ගෙන ඇත.

එසේම ආසාදිතයන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කිරීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

ඒ අනුව, සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු, අඩු අවදානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීමට පියවර ගැනීමටත් අවදානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරීමටත් අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.

පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් (Call Center – 1390) හරහා රෝගීන් කළමනාකරණ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබේ. මෙමගින් ආසාදිතයාට පහසුවෙන් තම නිවසේ සිට දින 14 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත හැකි බව අමාත්‍යාංශය පවසන්නේ.

යම් හෙයකින් රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් කඩිනමින් එම රෝගීන් පිළිබඳ තොරතුරු දුරකථන ඔස්සේ ලබාගෙන රෝහල් ගත කිරීමට පියවර ගනු ලබයි. මෙම ක්‍රමවේදය මගින් අනවශ්‍ය ලෙස රෝගීන් රෝහල් ගත කිරීමෙන් රෝහල් වාට්ටු තුළ ධාරිතාවය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයන් අවම වනු ඇත.

පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු ඔහු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගන්නා ලද්දේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට ලබාදී ඇති මාර්ගෝපදේශ නිර්ණායකයන්ට අනුකූලව එම රෝගීයා පරීක්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනීම සිදු කරනු ලබයි. මෙහිදී රෝගියා නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සඳහා තම කැමැත්ත ද පළ කළ යුතුය. නිවෙස් තුළ රඳවන රෝගීන් වාතාශ්‍රය ඇති වෙනම කාමරයක රඳවා තැබිය යුතුය. එම ආසාදිතයාට දියවැඩියාව, තරබාරුව වැනි රෝග නොතිබිය යුතුය. එමෙන්ම නිරෝධායනයට යොමුවන ස්ථානයේ නිසි සන්නිවේදන පහසුකම් තිබිය යුතුය. දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීයාගේ තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට රෝගියා ලක්වේ.

එම අධීක්ෂණ කටයුතුවල දී රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් රෝගී තත්ත්වය අනුව රෝගියා යොමු කළ යුතු රෝහල් ඇතුළු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ක්ෂණිකව යොමු කිරීමට පියවර ගනු ලබන අතර, ඒ සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හරහා වැඩපිළිවෙළක් ද සකස් කොට ඇත.