සේවයට වාර්තා නොකරන ගුරු – විදුහල්පතිවරුන් සේවය අතහැර ගියා සේ සලකනවාද ?

August 3, 2021 at 10:31 AM

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව සේවයට වාර්තා කරන ලෙස විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කටයුතු නොකරන බැවින් ඔවුන් සේවය අත්හැර ගියාසේ සැලකීමට රජය පියවර ගන්නවාදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කලේ එවන් තීරණයක් රජය විසින් නොගන්නා බවයි. එමෙන්ම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට සහ විරෝධතා දැක්වීමේ අයිතිය හිමිබවට ජනාධිපතිතුමා පවා පිළිගන්නා කරුණක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව ප්‍රතික්ෂේප වූ බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කර සිටියා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසානයේ පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා විසඳීම සඳහා අවශ්‍ය මුදල් යෙදවීමට මෙම අවස්ථාවේ හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් මීළඟ අයවැයේදී ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.