රථ වාහන දඩ ගෙවන්න අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි

August 3, 2021 at 7:44 AM

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව තාක්ෂණික පහසුකම් හඳුන්වාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ග නීතී උල්ලංඝනය කරන රියදුරන්ට දඩ මුදල් ගෙවීම සඳහා පහසු ක්‍රමවේදයක් ද හඳුන්වාදෙන බවයි.

“මත්ද්‍රව්‍ය ගන්න අයව පරීක්ෂා කරන්න අවශ්‍ය උපකරණත් අපි හෙට අනිද්දා රථවාහන පොලීසියට භාර දෙනවා. ඒ වගේම තමයි දැනට මාර්ග නීති උල්ලංඝනය කරන අයට දඩ නියම කරනවා. අද තියෙන ක්‍රමය අනුව අනුරාධපුරයෙදී මාර්ග නීති උල්ලංඝනය කළොත් කොළඹට ඇවිත් ආපසු දවස් 3ක් 4ක් යනවා තමාගේ බලපත්‍රය ගන්න. ඒ නිසා අපි අලුත් ක්‍රමයක් හඳුන්වා දෙනවා. තමාගේ මුදල් කාඩ්පත හරහා හෝ වෙනත් ක්‍රමයකට ඒ දඩය ඒ වෙලාවෙම ගෙවන්න පුළුවන් විදිහට සහ එතකොට ඒ පොලිස් නිලධාරියාගේ දුරකථනයට ඒ කෙටි පණිවුඩයක් ලැබෙන ආකාරයට. වැදගත්ම දේ තමයි යම්කිසි ප්‍රමාණයක් මාර්ග නීති උල්ලංඝනය කළාම දඩ මුදල් අනුව ලකුණු අඩු කරන ක්‍රමවේදය. එහෙම ගිහින් රියදුරු බලපත්‍රය අවලංගු කරනවා.”

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.