රාජ්‍යයේ සේවයේ නියුතු ගැබිණි කාන්තාවන් සේවයට පැමිණිය යුතුයි – පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්

August 2, 2021 at 8:12 AM

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ප්‍රකාශ කර සිටිනවා.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවයි.

මේ අතර ගැබිණි රාජ්‍ය සේවකයින් සහ කිරිදෙන මව්වරුන් රාජකාරී සදහා කැදවීම සම්බන්ධයෙන් විරෝධතා එල්ල වී තිබෙනවා.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගර්භණී කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් කොරෝනා එන්නත ලබාගෙන නොමැති බැවින් ඔවුන් සේවයට කැඳවීම අවදානම් බවයි. ඒ පිළිබද අවදානය යොමු කරමින් රාජ්‍ය සේවයේ නිරත ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන්ට සහනයක් ලබාදෙන ලෙසයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ආයතන සංග්‍රහයේ ඇති වරප්‍රසාද නිවාඩු එම නිලධාරිනියන්ට ලබා ගත හැකි බවත් ඊට අමතර නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවද ලේකම්වරයා සඳහන් කළේ.

රාජ්‍ය නිලධරයන් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රජයේ කාර්යයන් බිඳවැටිමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර පසුගිය 29 වැනිදා ලිඛිත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන් අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පසුගිය 30 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කෙරුණා.

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමේදී දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම සහ දෑත් පිරිසිදු කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් තවදුරටත් එලෙසම අනුගමනය කළ යුතු බවද චක්‍රලේඛයේ දැක්වෙන්නේ.