නොදිරන ලන්ච්ෂිට් තහනම අද සිට

August 1, 2021 at 10:25 AM

පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් භාවිතය අද සිට තහනම් කෙරෙනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීමද අද සිට තහනම් කෙරෙන බවයි.

කෙසේ වුවද දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච්ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට පසුගිය දා පියවර ගත් අතර එම කාලය තුළ පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම් කර තිබුණා.

එමෙන්ම නොදිරන ලන්ච් ෂීට් තවදුරටත් නිපදවන්නේ ද යන්න සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර, වහාම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 8ක් තහනම් කිරීමේ ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව, එක් වරක් භාවිත කරන බීම බට හා කලතන, තනි භාවිත ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත හැදි, ගෑරප්පු, යෝගට් හැඳි සහ පිහි මෙන්ම, නියමිත පරිමාවට අඩු සිලිසිලි බෑග්, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, පොලිතින් යොදා ඇසුරුම් කරන සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්, ප්ලාස්ටික් මල්මාලා සහ ප්ලාස්ටික් කෝප්ප ද එම තහනම් කෙරෙන ලැයිස්තුවට ඇතුළත්.