හිටපු නියෝජ්‍ය අමත්‍ය සරණ ගුණවර්ධන නඩු 08කින් නිදහස් කරයි

July 30, 2021 at 10:43 AM

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

එම නඩු අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුව ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස් වරු තුන්දෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන බව දන්වා සිටියා.

එහිදී සරණ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ, එම නඩුව පවත්වාගෙන යාමට අපහසු නම් විත්තිකරු නිදහස් කරන ලෙසයි.

ඒ අනුව අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් විත්තිකාර සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස නියෝග කරන් ලැබුවා.

2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණා.