ගිනි ගත් නෞකාවෙන් සිදුවූ හානිය

July 30, 2021 at 4:50 PM

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පසුව අද උදෑසන දක්වා මියගිය කැස්බෑවුන් 417 ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගසා ඇතැයි නීතිපතිවරයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම්දීම සිදුකරනු ලැබුවා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් එම දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සපයා දී ඇති බවයි.

එම මුහුදු සත්වයින් ගේ මරණ පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඔවුන්ගේ මෘත ශරීර පිළිබඳව අදාළ අධිකරණවලට කරුණු වාර්තා කර ඒවා රජයේ රස පරීක්ෂකවරයා සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර වැඩිදුර විමර්ශන සිකරන බවත් දන්වා සිටියා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගිනි ගැනීමට ලක් වූ නෞකාව ආසන්නයේ තිබූ ජල සාම්පල ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර විමර්ශනයට ලක්කළ බව ද දැනුම් දී සිටියා.

එහිදී අදාළ ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ.