ධනුෂ්ක, නිරෝෂන් සහ කුසල් වැරදිකරුවන් වෙයි : දීර්ඝ තරග තහනමක් පැනවීමට විනය කමිටුවෙන් නිර්දේශ

July 29, 2021 at 6:17 PM

එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුල උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්කා ගුණතිලකට වසර 02ක කාලයක් සඳහා සියලු අංශවල ක්‍රිකට් තරග තහනමක් සහ අමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් නියම කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මේ අතර, නිරෝෂන් දික්වැල්ලටද සියලු අංශවල දීර්ඝ ක්‍රිකට් තහනමක් සහ ඇමරිකානු ඩොලර් 25,000 ක දඩයක් නියම කිරීමට නිර්දේශ ඉදිරිපත්වී තිබෙනවා.

එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පත් කරන ලද පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම තීරණය ගෙන තිබේ.

අද පස්වරුවේ කමිටුව ගත් තීරණයට එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් අනුමත කළ යුතු වනවා.

ජුනි 27 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වෙල්ල සහ කුසල් මෙන්ඩිස් එංගලන්තයේ, ඩර්හැම්හි වීදිවල සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.

ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී ඔවුන් තැබූ ජෛව බුබුල උල්ලංඝණය කළ බවයි චෝදනා එල්ල වුයේ.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර බොහෝ ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම විවේචනය කරනු ලැබුවා.